Sunday, May 24, 2020

මාතා යථා නියං පුත්තං ආයුසා ඒකපුත්තමනුරක්ඛේ විභංගය

මේ පද පෙල පද සන්ධි වීම් ඉවත්කරල දක්වන්නෙ, මතා යථා නියං පුත්තං ආයුසා ඒක පුත්තං අනුරක්ඛේ කියල. අනුරක්ෂරණය කරන එක මව් ගුණයක්. එය කරුණාව පිළිබඳ උපමා වචී පදයක්. එතැන ලක්ෂ්‍යාර්ථයක් තියෙන්නෙ. එහි මාතා කියන පදය යම් ගුණයග් හඟවන ලක්ෂ්‍යයක්.

ලක්ෂ්‍යාර්ථ වචනයක අර්ථය තෝරාගැනීමේ දී ඒ ලක්ෂ්‍යය අනුසාරයෙන් වෙනත් ලක්ෂ්‍යයකට යා යුතුයි. ඒ අනුව ඒ දම් වදන් කරුණාවට පත්වීම ගැන පෙන්වන නිධාන පදයක් වෙනවා.

කරණීයමත්ත සූත්‍රය කියන්නෙ කරණීයං අත්ත සූත්‍රය යන්න ම-කාරාදේශණය කියන ක්‍රමයට සන්ධිවීමෙන්. ඒ අනුව අං අකු⁣රේ බින්දුව ලොප් වීමෙන් සහ දෙවෙනි වචනයේ අ යන්න
ලොප් කර ඒ වෙනුවට ම යන්න ආදේශ කෙරිල තියෙනවා. හරියට පුත්තං අනුරක්ඛේ පුත්තමනුරක්ඛේ හැටියට සන්ධි කරල තියෙනවා වගේ.

නිවන තමයි අර්ය විනයේ අර්ථය. ඒ අර්ථය සාධනය පිණිස කළ යුතුම දේ යන්න කරණීයමත්ත යන්නෙන් කියැවෙනවා.

මේ සූත්‍රය දෙශණා කරන්න යෙදුනේ ප්‍රඤ්ඥා අධික භික්ෂූන් අරඹයා. ඒ නිසා මාතා යථා නියං පුත්තං යන උපමාවචී පද පෙලේ අර්ථය නැණ නුවණ මෙහයවා දැකිය යුත්තක්. දෙවියන් මිනිස්සුන්ට වැඩිය රූපයෙන් අගතැන්පත්; දෙවියන්ට වැඩිය මනුස්සයන් ප්‍රඤ්ඥාවෙන් අගතැන්පත් බව බුදුපියාණන් වහන්සේ පෙන්වා තියෙනවා. දෙවියන් අරඹයා දේශණා කරපු සූත්‍ර දේශණා වල මේ වගේ සැඟවුණු අර්ථ අඩුයි. What you see is what you get වගේ එල්ල කරන වාච්‍යාර්ථයම මහාමංගල සූත්‍රය වගේ දෙවියන් ඇසූ පැණ වළට පිළිතුරු දුන් සූත්‍ර වළ තියෙනවා.

භික්ෂූන් වහන්සේලා නැණ නුවණින් වැඩි නිසා ඒ අය ගෙ ඤාණයන්ට ගෝච⁣ර විදිහට දෙවියන්ට කියන මට්ටමට වැඩිය ගැඹුරක්, විශේෂයෙන් උපමා වචී පද වළ වෙනවා.

ඒ අනුව මාතෘකාවේ එන මතා යන්න කරුණාව පිළිබඳව උපමා වචී පදයක් බව නැවත වරක් අවදාරණයෙන් සදහන් කළ යුතුයි.

එතැන අම්මා ලඟ නතර වෙන්න නෙවෙයි තියෙන්නෙ. අම්මා අනුසාරයෙන් අම්මා සතු ගුණය දකින්න මනස මෙහෙය විය යුතුයි; උපමාවේ සැඟවුණු ප්‍රකාරය නුවණින් දකින්න පුළුවන් වෙන්නෙ එවිටයි.

ජ්‍යොතිෂය අනුව කටක රාශිය මව්ට කාරකයි. සිතට අධිපති සඳුට අයිති කටකය ජලචර රාශියක්. එය හිත සහ හිතිවිලි ගැන බලන ස්ථානයක්. තද ගතිය පුරුෂ ගතියක්. මෘදු මොලොක් තෙත ගතිය ස්ත්‍රී ගතියක්. හිතට අදාලව මේ ගුණ දැක්වීමේ දී මව්වරුන් ගෙ හිත් තෙත් ගතියෙන් යුතුයි. ඒ අනුව, අනෙකා ගෙ දුක දැක ඒ අනුව කම්පා වෙන ගුණය, ඒ කියන්නෙ අනුකම්පාව හිතේ සංවේදී බාවය මව්වරුන් ගේ නෛසර්ගික ගුණයක්.

ජලය ගැබ්කර ගැනීමේ ගුණයෙන් යුතුයි. මව්වරුන් ද ගැබ්ගැනීමේ ගුණයෙන් යුතුයි. ගැබක් පිහිටන්නෙ මව්වරුන්ට. කුටුම්භයක අනාගත ප්‍රයෝජනයට ආහාර මුදල් වගේ දේවල් ගැබ්කර ගන්නෙ බොහෝවිට මව්වරු යි.

අතීත-වර්තමාන-අනාගත, හීන-ප්‍රණීත, දුර-ලඟ, අභ්‍යන්තර-බාහිර, සියුම්-ඝණ විදිහට විඤ්ඤාණස්කන්ධය ධර්මයේ අර්ථ දැක්වෙනවා. මෙයට ඇලුම් කිරීම විඤ්ඤාණෝපාදානස්කන්ධය හැටියට සළකනවා. ඒ අනුව අපි අනුපාදිසේස නිවනින් සසර ගමන සදහටම කෙළවර කරගන්න තෙක් ඡන්දරාගයෙන් ගැබ් කරගෙන ගෙන යන හිත් පරම්පරාව ජ්‍යොතිෂය අනුව කටකයෙන් පෙන්වනවා.

හිතේ තෙත ගතිය හැඟීම වර්ධනය වන පසුතලය යි.

ලෞකිඛ මව්ගුණයක් වන අනුකම්පාව ආර්ය විනයට අදාලව අර්ථදැක්වීමේ දී ආර්ය දයානුකම්පාව, ආර්ය කරුණාව හැටියට දැකිය යුතුයි. "පර දුක්ඛේ හදයං කම්පතීති කරුණා" කියන දම් වැකියේ වෙනත් කෙනෙකු ගෙ දුක (භව දුක) දැක හද (හිත) කම්පාවෙන මනෝභාවය කරුණාව වෙනවා. ඒක සත්‍ය වශයෙන්ම හැඟීමට අදාල තත්ත්වයක්. ඒ ගුණය නිවනට අදාලව ගද්දි අත්කරගත යුතුම අර්ථ කුසලයක් බව බුදුහිමි පෙන්වා දී තියෙනවා.

පරමාර්ථ වශයෙන් ගද්දි මාතා කියන වචනයෙන් අදහස් වෙන්නෙ අමාමැණී බුදුපියාණන් වහන්සේට.

සුමේධ තව්සා හැටියට දීපංකර බුද්ධ පාද මූලයේ දී එක් හතරපද ගතාවක් අහල ධර්මාවබෝධයට පතව ඒ අත්බැව තුළම සසර දුක සදහටම කෙලවර කරන්න අවශ්‍ය ගුණ පූර්ණය කර සිටයත් එදා තමන් ගෙ පරම සුඛය වන නිවන පැත්තකින් තිබ්බා. මං විතරක් නිවන් දැකල හරියනව ද අනන්ත ලෝක සත්ත්වයන් හතර අපා ආදී දුකින් පිරි භයානක සසර ගමනක අනාථව ඉන්දැද්දි; මමත් මේ උත්තම බුදු සමිඳුන් වගේම බුදුවරු නැති කාලයක සම්මාසම්බුද්ධත්වයට පත්වෙලා මමත් ඒ උතුම් නිවන දැකල ලෝසතුන්ටත් ඒ නිවන් ක්ෂේමය ලබාදිය යුතුයි කියන මහා කරුණාබර හිතින් තමයි එදා මතු බුද්ධත්වයට පලමු විවරණය ජීවිත පරිත්‍යාගයෙන් ලැබුවේ.

මහබෝසතාණන් වහන්සේලා සතු යම් කරුණා ගුණයක් තියෙනවද බුද්ධත්වය සාක්ෂාත් කරගත් පසුව එය මහාකරුණාවක් බවට උද්ගමනය වෙනවා.

අමාමෑණී බුදුපියාණන් වහන්සේ හැටියට මාතා කියන වචනය පරමාර්ථ වශයෙන් සැළකුවත් මේ වචනයේ ලක්ෂ්‍යාර්ථය ඔස්සේ ඒ අනුව අපි යායුත්තෙ කරුණාව කියන මනෝභාවයට යි, හැඟීමට යි.

වාච්‍යාර්ථයෙන් ගත්තොත්, අපිට බැහැ බුදුවරුන්ට පමණක් ආවේණික මහාකරුණාව කියන අසාධාරණ ධර්මතාවයට පත්වෙන්න.

ඒ නිසා මෙතැන දී ලෞකිඛ මව හෝ අමාමෑණී බුදුන් යන වාච්‍යාර්ථ ඉක්මවිය යුතු වටහාගත යුතුයි.

කරුණාව කියන්නෙ නිවනට අත්‍යාවශ්‍ය පසුතල කාරණාවක්. ඉංග්‍රීසියෙන් කියනව නම් prerequisite එකක්. ඒක මගහැරල (bypass කරල) දැකිය හැකි නිවනක් නැහැ. ඒකයි ඒ කාරණාව කියන කාරණය නිවනට අදාල මාර්ගෝපදේශණය සළසන user manual එකක් බඳු කරණීයමත්ත සූත්‍රයේ කරණීයං අත්ත හැටියට--කළ යුතුම දෙයක් හැටියට--සියල්ල දත් ලොව්තුරා බුදුපියාණන් වහන්සේ අපිට පෙන්වා දී තියන්නෙ.

තණ්හාව නොහොත් ඡනදරාග නිරෝධයට ඇති මගට කියන්නෙ ප්‍රඤ්ඥා සාසනය කියල. ඒකට අත්‍යාවශ්‍ය පසුතල කාරණාවක් තමයි කරුණා සාසනය. කරුණා සාසනය ගැන නුගුණ කියන, හෑල්ලු කරන ඇතැම් ධර්ම කථිකයන් "කොහෙද කරුණා සාසනය තුන්පිටකයේ තියෙන්නෙ?" කියලත් අහනවා මම අහල තියෙනවා.

මල් පූජා, හඳුන්කූරු පූජා, ආහාර භෝජන පූජා, අටපිරිකර පූජා වගේ දේ ගැන ඒ අය අංකයක් දෙන බවක් පෙනෙන්න නැහැ. ඒවා නොකර ආස්වාද ආදීනව නිස්සරණ දේශණා කරල ශ්‍රාවකයන් ධර්මාවබෝධයේ පිහිටුවන්න ඒ අය උත්සහ කරනවා.

ඒත් ධර්මය තුළ කරුණා සාසනය ගැන පෙන්වා ඇත්තෙ කළ යුතුම දෙයක් හැටියට මිස ඕනෙ නම් කළ යුතු optional දෙයක් විදිහට නෙවෙයි.

කරුණා සාසනය ගැන අංකයක් නොදෙන අයට හදවතේ තෙත ගතිය ඇති කරගන්න අපහසුයි. තෙත ගතිය අඩු හිතක කර්මස්ථාන වළ එන ධර්ම වදන් තුළ එන හැඟීමට සමවදින්න බැහැ. හැඟීමට සමවැදිය නොහැකි නම් කෙලෙස් දහනය කරන ධ්‍යාන වළට පත්වෙන්නත්, එය නො පිරිහී අකන්ඩව පවත්වාගන්නත් අපහසුයි.

ජ්‍යොතිෂයට අනුව කර්කශ බාවය, වියලි බව, තද බවට කාරක සෙනසුරු ග්‍රහ බලය කාරක යි. ඒ නිසා හදවතට සහ හැඟීම් වළට සහ කරුණාවට කාරක වන හතරවෙනි රාශිය හෝ කටක රාශිය සෙනසුරු ගෙන් පීඩා වී ඇති අයට මේ කරුණා ගති වළ පිහිටන්න අපහසු යි. ඒක ඒ ඒ අය ගෙ සසරගත ඌණතාවක් නිසා හටගන්න තත්ත්වයක්. එහෙම අය කරුණා සාසනයට අංකයක් නොදී අන් අයව කරුණා සාසනයේ කලකිරවන එක මහා අපරාදයක්.

අනුත්තරං පුඤ්ඤං කෙත්තං කියන අනුත්ත⁣ර පින් කෙත් හැදිය හැක්කෙ කරුණා ජලයයෙන් තෙත් වූ හදවතකයි. දහම් බීජය රෝපණය වී වැඩෙන්නෙ එවිටයි. ප්‍රඤ්ඥාව නැමති අරටුව ලැබෙන්නෙ එවිටයි. මාර්ගඵල නැමති මල් මල හටගන්නෙ එවිටයි.

Image and Article By:   අමිල සල්ගාදු
Email:  amilasuwa@gmaill.com


No comments:

Post a Comment

මාතා යථා නියං පුත්තං ආයුසා ඒකපුත්තමනුරක්ඛේ විභංගය

මේ පද පෙල පද සන්ධි වීම් ඉවත්කරල දක්වන්නෙ, මතා යථා නියං පුත්තං ආයුසා ඒක පුත්තං අනුරක්ඛේ කියල. අනුරක්ෂරණය කරන එක මව් ගුණයක්. එය කරුණාව පිළිබඳ ...